Pages

Sunday, July 29, 2018

පරිසරය සුරකිමු

මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරු ලෙසින්
විනාශ මුඛයට ඇද දමමින් පවතී.
හමා යන මද සුළඟ, පියකරු තුරුලතා, සිත් වසඟ කරනා දිය ඇලි, සවන් පිනනා විහඟ නාදයන්, මල්ගොමු ආදී
සිත්කළු දර්ශන අද අපහට දැකගැනීමට, විඳගැනීමට පින්කර ඇතිවුවද අනාගත පරපුර හට එම දායාදයන් ලබා නොදීමට
තරම් අප කුරිරුවී ඇත.
තාක්ෂණයට පමණක් මුල්තැන දෙමින් කර්මාන්තයන් තුලින් රට සංවර්ධනය කිරීමට පමණක්ම මිනිසා පෙළඹී ඇත.
එක් අතකින් එය සාර්ථක වුවද එයින් ලැබෙන අනිසි ප‍්‍රථිපල පිලිබඳ මොහොතක්වත් සිතනවද යන්න අදවනවිට
වන්නාවූ ක‍්‍රියාදාමයන් දෙස බලනකල අපට වැටහෙන්නකි. අපට මතුපරම්පරාවන්ට ජීවත්වීමට අවශ්‍යනම් අපව
සුරකින පරිසරය අප විසින්ද සුරකිය යුතුම වන්නේය. එසේ නොවනකල ස්වභාවික විපත්තුලින්ද අප හට ආරක්ෂාවක්
ලබාගැනීම දුෂ්කර වනු ඇත. පරිසරය තුලින් අපට ජීවය ලැබෙන බව දන්නාවූ උගත් බුද්දිමත් මනුෂ්‍ය වර්ගයා අප තුලින්
එම පරිසරය විනාශමුඛයට ඇද දැමීම කෙතරම් යෝග්‍යදැයි වරක් දෙවරක් නොව කිහිපවරක්ම තම තාර්කික මනසින්
සිතා කටයුතු කල යුතුය.

විරහව

ගැහැනියකට හෝ පිරිමියෙකුට තමා සොයනා ආදරය ලැබෙන්නේ ජීවිතයේ බොහෝ විට එක්වරකි. 
එය සතුකර ගැනීමටද බොහෝ දුරට නොහැකිවේ. 
ඒ නිසාමදෝ ඒ ආදරය විරහ වේදනාව මුසු සියුම් මතකයන් වලින් 
සිත පුරවාලයි. 
කිසිදා කිසිවෙකු කිසිවෙකුටවත් අයිති කරගත නොහැකි බව සත්‍යයක් වුවද, 
අයිති කරගැනීමට නොහැකිවීමට වඩා අන්සතුවීම සිත තැවෙයි. 
ආදරය හිමිකරගතයුතුම නොවන බවත්, ආදරය යනු විඳිය යුත්තක් බවත් තවත් කෙනෙකුට කිවහැකිය. 
එනමුදු තුවාලයෙහි වේදනාව දැනෙන්නේ එය ඇති කෙනාම පමණි. 
දැඩි ආදරයකින් වෙන්වීමේ දුක කෙතරම් වේදනාවක්ද... 
නමුත් එම වේදනාව දරුණු ලෙස සිත පෑරුවද තවත් විටෙක ඒ වේදනාව නිරාමිස සුවයක් සිතට ගෙනෙයි. 
නොලැබීම සිත සිතා කල් නොගෙවන්න. ලැබී ඇති දෙයින් සතුටුවන්න. 
ජිවීතයේ ලැබීම නොලැබීම සියල්ලක්ම දුකක්ම පමණි. 
කෙනෙකු උපදින මොහොතේ සිට මියයාම දක්වාම ඇත්තේ දුක සතුට වේදනාවම පමණි. 
සතුටම පමණක්වත්, දුකම පමණක්වත් ලැබිය නොහැක. 
සුළඟ වැනි දුක හඹාගිය පසු ඒ පසුපසම සතුටද සුළඟක් මෙන්ම පැමිණේ. 
එබැවින් සියල්ල පිලිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව ඉදිරියට තබන පියවර ආපස්සට නොතබා ඉදිරියටම පියනැගිය යුතුය. 
හෙටදින සතුටින් ගෙවන්නටනම් අද දිනයේ තීරණ ධනාත්මක විය යුතුමය.

මුට්ටි නැමීමේ මංගල්‍යය (කෙටි කතාව)

දැනුනෙම නෑ... 
දන්නෙම නැතුව ආයෙ ඒ දවස උදාවෙලා... 
අවුරුදු හතකට වරක් මගෙ ගම්මානයෙ එනම් අනුරාධපුර ගම් නියම්ගම් පාසා 
ගම් වලට ආවේනික සංස්කෘති වලට අදාල ලෙස මුට්ටි නැමීමේ මංගල්‍යයක් සිදුවේ. 
නැන්දලා මාමලා, කිරිඅම්මල අත්තල පවසන ආකාරයට මෙය සිදුකරන්නේ ගොවිතැන් කටයුතු සාර්ථක කරදීල, 
ලෙඩ රෝග වලින් ගමේ මිනිසුන් ආරක්ෂා කරදීල, සශ‍්‍රීකත්වය වෙනුවෙන් වගේම ඊට පෙර කන්නයේ සාර්ථක ලෙස සියලූ දේ හොඳින් සිදු වූ බැවින් එයට කෘතගුණ සැලකීමක් වශයෙන් ගම්භාර දෙවියන්ට, පුල්ලෑර දෙවියන්ට ගම බාරදීම වෙනුවෙන්ය යන්න සියලූ ගැමියන්ගේ මතයයි.
ගොවිතැන් වලින් ලබාගත් අලූත් සහල් සම්මාදම් කර ඒවායින් බතක් උයා, 
අමු දිවුල්  වලින් ලූණුමිරිස් තුනපහ නොදා උණුවතුරෙන් තම්බා දිවුල් මාලූවක් සාදා ගමේ සියලූ දෙනා එක් ස්ථානයකට රැස්වී මෙම ආහාරය අනුභව කරයි. 
සියල්ලන්ම එම ආහාරය අනුභව කලයුතුය. ඉවත්කළ නොහැක. 
එම ආහාරය දෙවියන්ගේ ආහාරයක් ලෙස සලකයි. එබැවින් රස නැතැයි පවසමින් ඉවත්කිරීම දේව උදහසට පවා ලක්විය හැකි වරදක් ලෙස ගම්මුන් පවසයි. 
මෙහිදී අවම වශයෙන් යකැදුරන් තුන්දෙනෙකු හෝ සිටී. ඔවුන් හැසිරෙනුයේ දෙවි කෙනෙකු ඔවුන්ගේ ශරීරයට ආරූඩ වූවා සේය. 
ඔවුන් නර්තනයක යෙදෙන අතර කවිද ගායනා කරනු ලබයි. එමෙන්ම ගමේ එම ස්ථානයේ ප‍්‍රධාන කිරි ගසට හත් වතාවක් කොටා භාර වනු ඇත. 
නැවත හත් අවුරුද්දක් පැමිණෙන තුරු ගම ආරක්ෂා කරදී, භව භෝග සරු කිරීම වෙනුවෙන් කන්නලවු කරයි.
එසැනින්ම යකැදුරා වැව දෙසට ගමන් කරනු ලබයි. ඒ පසුපස පිරිමි අයවලූන් පමණක් ගමන් කිරීමද සිරිතකි. 
එහි පසුපස ගැහැනුන් ගමන්කිරීම නුසුදුසු බව ඔවුන් පවසයි. 
ඉන්පසු වැවේද මුල් කිවූ කන්නලවුව සිදුකර, කිරි දමා ඇති මුට්ටි හත කුඹුක් ගස යට මුනින් අතට හරවා ගාථා කිහිපයක් සජ්ජායනා කර නැවත ගම මැද ප‍්‍රධාන ස්ථානයට පැමිණේ. ඉන්පසු එතන සාදාඇති මණ්ඩපයේ පැය දෙකක් පමණ කවි ගායනා කර නර්ථනයන් ඉදිරිපත් කර සියලූ දෙනා නිවෙස් කරා යයි. එදින සිට සතියක් පමණ ගතවනතුරු එම උත්සවය පැවැත්වූ ගම්මන්ඩියේ කාන්තාවන් අවේලාවේ එනම් ඉරබැසයන වේලාවේ වැවට තනියෙන් නොයයි. 
දුවා........
ඇයි අම්මා........
හපොයි දෙවියනේ මම මේ හීනයක්ද දැක්කෙ. 
හ්ම්ම්...
ඒ කොහොම උනත් මම මේ මුට්ටි නැමීමේ මංගල්‍යයට ආසාවෙන් දැනට අවුරුදු තුනකට පෙර අවසන් වතාවට සහභාගීවන්නට වාසනාවන්ත වුවද. අවුරුදු හතකට වරක් තිබෙන බැවින් ඉදිරියට තවත් අවුරුදු හතරක් ඒ සඳහා නොඉවසිල්ලෙන් වුවද බලාසිටිය යුතුය. අවුරුදු තුනකට පෙර තිබූ උත්සව අවස්ථාව ස්වප්නයක් මෙන් දිස්වීම තුලින්ද 
අද ඊයේ එම අවස්ථාවට මා සහභාගීවූවා සේ මට හැඟී යන්නට වූයේ එම අවස්ථාවට 
මා සිත එතරන්ම කැමැත්තක් දක්වනු නිසාවෙනි. 

Ruvinika Maheshani Jayalath
HS/2015/0368

Sunday, July 15, 2018

ආදර මගෙ අම්මෙ.......

නිමක් නොමැති මහ සයුරේ,
 තනිවුණු ඔරැවකට මග පෙන්වූ,
 පහන් කණුව නුඹයි.
 නිවුනු පහන් සිලකට
 යළි එළිය ලබා දෙන
 තෙල් බිදත් නුඹයි.
 නියගයෙන් මියැදෙන
 පුංචි පැළයට
 දිය බිදත් නුඹයි.
 මුලු විශ්වයටම
 පාර පෙන්වා
 මා යහමග යැව්වේද නුඹයි......
 

කදුලු පිරි දෙනෙත..........

කදුලු පිරැනම ඔබේ දෙනෙතට,
වාවන්න බෑ මගෙ දෙනෙතට,
දිනක් පැවසුවෙ ඔබයි මා හට,
එසේ පැවසූ ඔබද අද මේ,
කදුලු පමණක් ඉතිරි කර දී,
ශෝක ගින්නෙ සතපලා,
අතැර ගියේ මගේ සෙනෙහේ....

Ruvinika Maheshani Jayalath.