Pages

Sunday, July 29, 2018

මුට්ටි නැමීමේ මංගල්‍යය (කෙටි කතාව)

දැනුනෙම නෑ... 
දන්නෙම නැතුව ආයෙ ඒ දවස උදාවෙලා... 
අවුරුදු හතකට වරක් මගෙ ගම්මානයෙ එනම් අනුරාධපුර ගම් නියම්ගම් පාසා 
ගම් වලට ආවේනික සංස්කෘති වලට අදාල ලෙස මුට්ටි නැමීමේ මංගල්‍යයක් සිදුවේ. 
නැන්දලා මාමලා, කිරිඅම්මල අත්තල පවසන ආකාරයට මෙය සිදුකරන්නේ ගොවිතැන් කටයුතු සාර්ථක කරදීල, 
ලෙඩ රෝග වලින් ගමේ මිනිසුන් ආරක්ෂා කරදීල, සශ‍්‍රීකත්වය වෙනුවෙන් වගේම ඊට පෙර කන්නයේ සාර්ථක ලෙස සියලූ දේ හොඳින් සිදු වූ බැවින් එයට කෘතගුණ සැලකීමක් වශයෙන් ගම්භාර දෙවියන්ට, පුල්ලෑර දෙවියන්ට ගම බාරදීම වෙනුවෙන්ය යන්න සියලූ ගැමියන්ගේ මතයයි.
ගොවිතැන් වලින් ලබාගත් අලූත් සහල් සම්මාදම් කර ඒවායින් බතක් උයා, 
අමු දිවුල්  වලින් ලූණුමිරිස් තුනපහ නොදා උණුවතුරෙන් තම්බා දිවුල් මාලූවක් සාදා ගමේ සියලූ දෙනා එක් ස්ථානයකට රැස්වී මෙම ආහාරය අනුභව කරයි. 
සියල්ලන්ම එම ආහාරය අනුභව කලයුතුය. ඉවත්කළ නොහැක. 
එම ආහාරය දෙවියන්ගේ ආහාරයක් ලෙස සලකයි. එබැවින් රස නැතැයි පවසමින් ඉවත්කිරීම දේව උදහසට පවා ලක්විය හැකි වරදක් ලෙස ගම්මුන් පවසයි. 
මෙහිදී අවම වශයෙන් යකැදුරන් තුන්දෙනෙකු හෝ සිටී. ඔවුන් හැසිරෙනුයේ දෙවි කෙනෙකු ඔවුන්ගේ ශරීරයට ආරූඩ වූවා සේය. 
ඔවුන් නර්තනයක යෙදෙන අතර කවිද ගායනා කරනු ලබයි. එමෙන්ම ගමේ එම ස්ථානයේ ප‍්‍රධාන කිරි ගසට හත් වතාවක් කොටා භාර වනු ඇත. 
නැවත හත් අවුරුද්දක් පැමිණෙන තුරු ගම ආරක්ෂා කරදී, භව භෝග සරු කිරීම වෙනුවෙන් කන්නලවු කරයි.
එසැනින්ම යකැදුරා වැව දෙසට ගමන් කරනු ලබයි. ඒ පසුපස පිරිමි අයවලූන් පමණක් ගමන් කිරීමද සිරිතකි. 
එහි පසුපස ගැහැනුන් ගමන්කිරීම නුසුදුසු බව ඔවුන් පවසයි. 
ඉන්පසු වැවේද මුල් කිවූ කන්නලවුව සිදුකර, කිරි දමා ඇති මුට්ටි හත කුඹුක් ගස යට මුනින් අතට හරවා ගාථා කිහිපයක් සජ්ජායනා කර නැවත ගම මැද ප‍්‍රධාන ස්ථානයට පැමිණේ. ඉන්පසු එතන සාදාඇති මණ්ඩපයේ පැය දෙකක් පමණ කවි ගායනා කර නර්ථනයන් ඉදිරිපත් කර සියලූ දෙනා නිවෙස් කරා යයි. එදින සිට සතියක් පමණ ගතවනතුරු එම උත්සවය පැවැත්වූ ගම්මන්ඩියේ කාන්තාවන් අවේලාවේ එනම් ඉරබැසයන වේලාවේ වැවට තනියෙන් නොයයි. 
දුවා........
ඇයි අම්මා........
හපොයි දෙවියනේ මම මේ හීනයක්ද දැක්කෙ. 
හ්ම්ම්...
ඒ කොහොම උනත් මම මේ මුට්ටි නැමීමේ මංගල්‍යයට ආසාවෙන් දැනට අවුරුදු තුනකට පෙර අවසන් වතාවට සහභාගීවන්නට වාසනාවන්ත වුවද. අවුරුදු හතකට වරක් තිබෙන බැවින් ඉදිරියට තවත් අවුරුදු හතරක් ඒ සඳහා නොඉවසිල්ලෙන් වුවද බලාසිටිය යුතුය. අවුරුදු තුනකට පෙර තිබූ උත්සව අවස්ථාව ස්වප්නයක් මෙන් දිස්වීම තුලින්ද 
අද ඊයේ එම අවස්ථාවට මා සහභාගීවූවා සේ මට හැඟී යන්නට වූයේ එම අවස්ථාවට 
මා සිත එතරන්ම කැමැත්තක් දක්වනු නිසාවෙනි. 

Ruvinika Maheshani Jayalath
HS/2015/0368

1 comment: